Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.4. ජීවන රටාව වෙනස් වීම හා එමගින් ඇති වන ගැටලු 1 වන පිටුව (6)

ජීවන රටාව වෙනස් කළ සාධක

මිහිපිට ජීවත් වන ජීවීන්ගේ ජීවන රටාව වෙනස් වීම කෙරෙහි බලපාන කරුණු රාශියක් ඇත. ඒ අතරින් කාර්මීකරණය, නාගරීකරණය වානිජමය කෘෂිකර්මාන්තය හා නිර්මිත වාරි මාර්ග පද්ධති ප්‍රධාන වේ.

කාර්මීකරණය

රටක් ප්‍රාථමික කෘෂිකාර්මික සමාජයක සිට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාජයක් කරා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය කාර්මීකරණය ලෙස හැඳින්වේ. තාක්ෂණික දියුණුව හා සුළු පරිමාණ නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම වැනි හේතු නිසා ක්‍රි.ව.1800 දී පමණ බටහිර යුරෝපය මූලික කරගෙන කාර්මීකරණය ආරම්භ විය.

නාගරීකරණය

මිනිස් ජනගහනය වර්ධනය වන විට සම්පත් බහුල ප්‍රදේශවලට ජනගහනය එක රාශි වීම නාගරීකරණය ලෙස හැඳින්වේ. කාර්මීකරණයත් සමඟ රැකියා හා වඩා සුවපහසු ජීවිතයක් අපේක්ෂාවෙන් මිනිසුන් නගරය වෙත සංක්‍රමණය වීමෙන් නාගරීකරණය ඇති වේ.

රූපයක් එක් කළ යුතුය

15.33 රූපය — නගරයක දර්ශනයක්.

වානිජමය කෘෂිකර්මාන්තය

යැපීම සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඉක්මවා වානිජමය අරමුණු ඇති ව මහා පරිමාණ වශයෙන් සිදු කරන කෘෂිකර්මාන්තය වානිජමය කෘෂිකර්මාන්තය ලෙස හැඳින්වේ. මෙහි දී වැඩිපුර අස්වැන්න ලැබෙන පරිදි වැඩි දියුණු කළ ප්‍රභේද භාවිතය, කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම, යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම වැනි කරුණු කෙරේ අවධානය යොමු කර ඇත.

නිර්මිත වාරිමාර්ග පද්ධති

වර්ෂාව මත යැපීම වෙනුවට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට මිනිසා විසින් නිර්මාණය කළ වැව්, පොකුණු, ජලාශ, ඇළ, වේළි, උමං මාර්ග යනාදිය නිර්මිත වාරිමාර්ග පද්ධති ලෙස සැලකේ.

බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය සහ ශක්තිය භාවිතය

තාක්ෂණීක දියුණුව හා සංකීර්ණ ජීවන අවශ්‍යතා වැනි කරුණු නිසා අවම මිනිස් ශ්‍රමයක් වැය කරමින් විශාල වශයෙන් පරිසරයට හානිකර ද්‍රව්‍ය භාවිත කිරීම හා ශක්තිය වැය කරමින් යන්ත්‍ර සූත්‍ර භාවිතය සිදු කෙරේ.

මෙම වෙනස්කම් අපේ සෞඛ්‍යයට බලපාන්නේ ඇයි

සෑම වෙනසක් ම වාසි ගෙන ආවේ ය: වැඩි ආහාර, වඩා හොඳ ඖෂධ, පහසු වැඩ. නමුත් සෑම එකක් ම අප ජීවත් වන ආකාරය ද වෙනස් කළේ ය. මිනිසුන් කෙත්වල සිට කාර්යාලවලට ගොස් දැන් දවසේ වැඩි කාලයක් වාඩි වී සිටිති; වරක් දේහ යෝග්‍යව තබා ගත් වැඩ දැන් යන්ත්‍ර කරයි; සීනි, ලුණු හා මේදය බහුල සකසන ලද ආහාර ගෙදර පිසීම ප්‍රතිස්ථාපනය කළේ ය; වානිජ ගොවිතැනේ රසායන අපේ ජලයට ළඟා විය. මෙම නව ජීවන රටාව සමඟ වර්ධනය වූ රෝග ඊළඟ පිටු සලකා බලයි.

වෙනසේ ගාමක පහක්

කාර්මීකරණය, නාගරීකරණය, වානිජ කෘෂිකර්මාන්තය, නිර්මිත වාරිමාර්ග හා ද්‍රව්‍ය හා ශක්තිය බහුල භාවිතය අප ජීවත් වන ආකාරය වෙනස් කර ඇත.