Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.4.1. උත්තල කාච 2 වන පිටුව (4)

නාභිය හා නාභීය දුර

උත්තල කාචයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව කාචය වෙත එන ආලෝක කිරණ කාචය තුළින් වර්තනය වී ගමන් කරන්නේ ඇතුළට නැමී (අභිසාරීව) ය. එබැවින් එම කිරණ කාචයේ විරුද්ධ පැත්තේ ප්‍රධාන අක්ෂය මත එක් ලක්ෂ්‍යයක දී හමු වී ගමන් කරයි. එම කිරණ හමු වන ලක්ෂ්‍යය කාචයේ නාභිය නම් වේ.

උත්තල කාචයක් හරහා යන සමාන්තර කදම්බයක් අනෙක් පැත්තේ නාභිය F වෙත අභිසාරී වීම.
  • වාතයේ සිට කාචය තුළට ඇතුළු වීමේ දී සිදුවන්නේ විරල මාධ්‍යයක සිට ඝන මාධ්‍යයකට ඇතුළු වීමයි. එවිට එම කිරණය අභිලම්බය දෙසට නැවී ගමන් කරයි.
  • එම කිරණය කාචයෙන් පිටවන විට සිදුවන්නේ ඝන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ඇතුළුවීමයි. එවිට එය අභිලම්බයෙන් ඉවතට නැමී ගමන් කරයි.
  • මෙම අවස්ථා දෙකෙහි දී ම ආලෝක කිරණය ප්‍රධාන අක්ෂය දෙසට නැමෙයි. මෙසේ නැමීමෙන් පසුව, ප්‍රධාන අක්ෂයට සමාන්තරව කාචයට ඇතුළු වන සියලු කිරණ එක ම ලක්ෂ්‍යයක් හරහා ගමන් කරයි.

නාභිය හා නාභීය දුර

මෙම ලක්ෂ්‍යය කාචයේ නාභිය (F) නමින් ද, කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයේ සිට නාභිය දක්වා ඇති දුර කාචයේ නාභීය දුර (f) නමින් ද හැඳින්වේ. කාචයක දෙපසින් ම ආලෝකය පතනය විය හැකි නිසා එහි දෙපස නාභි ලක්ෂ්‍ය දෙකක් හඳුනාගත හැකි ය. එම ලක්ෂ්‍ය දෙක ම ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සම දුරින් පිහිටයි.