Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.4.1. උත්තල කාච 3 වන පිටුව (4)

නාභීය දුර සෙවීම

හිරු පවතින්නේ අපට ඉතා ඈතින් නිසා හිරුගෙන් එන ආලෝක කිරණ සියල්ල එකිනෙකට සමාන්තර ලෙස සැලකිය හැකි ය. උත්තල කාචයක් ඒවා එහි නාභියට එකතු කරයි.

5.5 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: උත්තල කාචයක්, සුදු තිරයක්

  • හොඳින් හිරු එළිය තිබෙන අවස්ථාවක උත්තල කාචයක් ගෙන හිරු එළියට අල්ලා, ඊට ඉදිරියෙන් සුදු කඩදාසියක් තබන්න.
  • කඩදාසිය මත කුඩා තිතක් ලැබෙන තෙක් කඩදාසිය සහ කාචය අතර දුර සීරු මාරු කරන්න.

කිසි විටෙක හිරු දෙස නොබලන්න

කාචයක් හරහා කිසි විටෙක හිරු දෙස නොබලන්න. දීප්ත තිත සමට හෝ පිළිස්සිය හැකි දෙයකට නොවැටෙන්න වග බලා ගන්න — එය එකතු කළ හිරු එළිය යි.

5.6 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: උත්තල කාචයක්, සුදු තිරයක්

  • කාමරයක ජනේලය විවෘත කර, එම කාමරය තුළ සිට උත්තල කාචයක් විවෘත ජනේලය දෙසට යොමු කරගෙන අල්ලාගෙන සිටින්න.
  • කාචය පිටුපස සුදු කඩදාසියක් වැනි තිරයක් අල්ලාගෙන කාචය තිරය ඉදිරියේ සීරුමාරු කර ජනේලයෙන් පෙනෙන දර්ශනයේ ප්‍රතිබිම්බයක් එම තිරය මත ලබා ගන්න.
  • ඉතා ම පැහැදිලි යටිකුරු කුඩා ප්‍රතිබිම්බයක් (ඡායාරූපයක් වැනි) තිරය මත ලැබෙන අවස්ථාවේ තිරය හා කාචය අතර දුර මැන ගන්න.

නිරීක්ෂණය

එම දුර එම කාචයේ දළ නාභීය දුර වේ. එම ප්‍රතිබිම්බය සෑදෙන්නේ ජනේලයෙන් පිටත ඇති වස්තුවල සිට කාචය වෙත එන ආලෝක කිරණ කාචය තුළින් වර්තනය වී ගමන් කර තිරය මත එකතු වීමෙනි. තිරය මත ආලෝක කිරණ සැබැවින්ම පැමිණ ඒ මත සාදන ප්‍රතිබිම්බය තාත්ත්වික ප්‍රතිබිම්බයකි.