උණසන්නිපාතය හා පාචනය
දූෂිත ආහාර හා ජලය මගින් පැතිරෙන ආන්ත්‍රික ආසාදන දෙකක්.
උණසන්නිපාතය (Typhoid)
උණසන්නිපාතය බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයකි. රෝග කාරකයා ශරීර ගත වන්නේ ආහාර පාන මගිනි. දූෂිත වූ ජලයේ පිහිනීමේ දී හෝ ස්නානය කිරීමේ දී, අපවිත්‍ර ස්ථානවල වසන මැස්සන් මගින් හා දූෂිත ආහාර පරිභෝජනයෙන් ද රෝගය බෝවීමට ඉඩ ඇත. අතපය වේදනාව, හිසරදය හා ක්‍රමයෙන් වැඩිවන උණ ප්‍රධාන ලක්ෂණ වේ. ක්ෂුද්‍රාන්ත්‍රයේ තුවාල සෑදී රුධිරය වහනය වී මල සමග පිටවේ. මෙම රෝගය හඳුනාගත හැක්කේ රුධිර හෝ අසූචි පරීක්ෂාවක් මගිනි. උණ සන්නිපාත ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් රෝගය වළක්වා ගත හැකි ය.
පාචනය (Diarrhoea)
වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ පරපෝෂිතයෙක් හෝ මගින් අන්ත්‍ර ආසාදනය වීමෙන් පාචනය ඇති වේ. මෙම රෝගය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වනුයේ ආසාදිතයකුගේ අසූචි මගිනි. දූෂිත වූ ආහාර හෝ ජලය පරිභෝජනය කිරීමෙන් රෝගය පැතිරේ. මහාන්ත්‍රයේ දී මලවල ඇති ජලය නිසි පරිදි අවශෝෂණය නොවීම නිසා දියර තත්ත්වයෙන් මල පහවේ. වැඩිපුර පාචනය වීමෙන් ඇති වන තරල හානිය නිසා විජලන තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. විජලන තත්ත්වය උග්‍රවීම මාරාන්තික විය හැකි බැවින් හැකි තරම් දියර ලබා දීම හා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත් වේ.
දෙක ම වළක්වා ගැනීම
- නටවා නිවා ගත් ජලය පානය කිරීම
- මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා ආහාර පාන වසා තැබීම
- මාර්ග අසල විවෘතව අලෙවි කරන ආහාරපාන ගැනීමෙන් වැළකීම
- ජල මුද්‍රිත වැසිකිලි භාවිතය හා භාවිතයෙන් පසු දෙඅත් සබන් යොදා මනාව පිරිසිදු කර ගැනීම