Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.1. විද්‍යුත් රසායනික කෝෂ 2 වන පිටුව (5)

තනුක අම්ලයේ සින්ක්

කෝෂයක් තුළ සිදු වන දේ දැකීමට, අම්ලයක ඇති එක් ලෝහයකින් පමණක් ආරම්භ කරමු.

ක්‍රියාකාරකම 12.1.1

අවශ්‍ය ද්‍රව්‍ය: කුඩා බීකරයක්, තනුක සල්ෆියුරික් අම්ලය සහ සින්ක් ලෝහ තහඩුවක්

කුඩා බීකරයකට තනුක සල්ෆියුරික් අම්ලය එකතු කරන්න. 12.1.3 රූපයේ දැක්වෙන අන්දමට සින්ක් ලෝහ තහඩුවෙන් කොටසක් සල්ෆියුරික් අම්ල ද්‍රාවණයේ ගිලෙන සේ එහි තබන්න. ඔබේ නිරීක්ෂණ සටහන් කරන්න.

රූපයක් එක් කළ යුතුය

12.1.3 රූපය — තනුක සල්ෆියුරික් අම්ලය ඇති බීකරයක සින්ක් තහඩුවක්.

නිරීක්ෂණය

මෙහි දී සින්ක් ලෝහ තහඩුව අසලින් වායු බුබුළු පිට වන බවත්, ක්‍රමයෙන් සින්ක් තහඩුව ක්ෂය වන බවත් නිරීක්ෂණය වේ.

සින්ක් ලෝහ පරමාණු සින්ක් (Zn) ලෝහය මත ඉලෙක්ට්‍රෝන රඳවමින් සින්ක් අයන (Zn2+) ලෙස ද්‍රාවණගත වේ. මෙහි දී ඉලෙක්ට්‍රෝන සින්ක් තහඩුව මත රැස් වේ. සල්ෆියුරික් අම්ලය ජලයේ දී හයිඩ්‍රජන් අයන (H+) හා සල්ෆේට් අයන (SO42-) බවට විඝටනය වේ. ද්‍රාවණයේ ඇති H+ අයන, සින්ක් තහඩුව මත ඇති ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට, සින්ක් තහඩුව වෙත ආකර්ෂණය වේ. ඉලෙක්ට්‍රෝන ලබාගත් H+ අයන හයිඩ්‍රජන් වායුව (H2) බවට පත් වේ.

Zn (s) → Zn2+ (aq) + 2e

2H+ (aq) + 2e → H2 (g)

(1) සින්ක් ඉලෙක්ට්‍රෝන පිට කරයි; (2) හයිඩ්‍රජන් අයන ඒවා ලබා ගනී

අර්ධ ප්‍රතික්‍රියා

යම් රසායනික ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් හෝ පිට කරමින් හෝ වෙනත් ප්‍රභේදයක් බවට පත්වීම නිරූපණය කරමින් ලියා ඇති (1) හා (2) ආකාරයේ ප්‍රතික්‍රියා අර්ධ ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. අර්ධ ප්‍රතික්‍රියා දෙකක් සුදුසු පරිදි එකතු කිරීමෙන් තුලිත අයනික ප්‍රතික්‍රියාව ලබා ගත හැකි ය.

Zn (s) + 2H+ (aq) → Zn2+ (aq) + H2 (g)

(1) + (2): දෙපස ඇති 2e කැපී යයි

ද්‍රාවණයට H+ අයන ලැබුණේ සල්ෆියුරික් අම්ලය විඝටනය වීමෙනි. සල්ෆියුරික් අම්ලය විඝටනයේ දී H+ අයනවලට අමතර ව SO42- අයන ද මාධ්‍යයට එකතු වේ. නමුත් ප්‍රතික්‍රියාවේ දී SO42- අයන වෙනසකට ලක් නො වේ. එබැවින් SO42- දෙපසට ම එකතු කරමු.

Zn (s) + H2SO4 (aq) → ZnSO4 (aq) + H2 (g)

එක් ප්‍රතික්‍රියාවක්, අර්ධ දෙකක්

අම්ලයේ සින්ක් යනු එකවර සිදු වන දෙයක් දෙකකි: සින්ක් ඉලෙක්ට්‍රෝන පිට කිරීම හා හයිඩ්‍රජන් අයන ඒවා ලබා ගැනීම. මෙහි දෙක ම සිදු වන්නේ එකම සින්ක් කැබැල්ල මත ය — එබැවින් ඉලෙක්ට්‍රෝන ප්‍රයෝජනවත් තැනකට නොයයි.