අල්පාම්ලිත ජලය
අවසාන වශයෙන් කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා අල්පාම්ලිත ජලය විද්‍යුත් - විච්ඡේදනය කිරීම පිළිබඳ ව අවධානය යොමු කරමු.
ක්‍රියාකාරකම 12.2.4
අවශ්‍ය ද්‍රව්‍ය: තනුක සල්ෆියුරික් අම්ලය ස්වල්පයක් එකතු කරන ලද ආසූත ජලය, කාබන් කූරු, 9 V බැටරියක්, සම්බන්ධක කම්බි, ප්ලාස්ටික් කෝප්පයක්
- ප්ලාස්ටික් බඳුනේ පතුල සිදුරු කර රූපයේ ආකාරයට එහි කාබන් කූරු රඳවන්න. ඉන්පසු ජලය කාන්දු නොවන ආකාරයට කාබන් කූරු වටා උණු කළ ඉටි හෝ PVC වැනි ද්‍රව්‍යයක් දමා මුද්‍රා තබන්න. (සිලිකෝන් සීලර් ද යොදා ගත හැකි ය.)
- බඳුනට ආම්ලික කළ ජලය දමන්න.
- ඉන්පසු ජලය පිරී පවතින පරිදි යටිකුරු කළ පරීක්ෂණ නළ දෙකකට රූපයේ දක්වෙන පරිදි කාබන් කූරු දෙක ඇතුළු කරන්න.
- ඉන්පසු කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකට 12.2.8 රූපයේ දක්වෙන ආකාරයට විද්‍යුත් සැපයුම ලබා දෙන්න. ඔබේ නිරීක්ෂණ සටහන් කරන්න.
නිරීක්ෂණය
මෙහි දී පරීක්ෂා නළ තුළ වායු එක්රැස් වන බව නිරීක්ෂණය කළ හැකි ය. තව ද කැතෝඩයෙන් මුක්ත වූ වායු පරිමාව, ඇනෝඩයෙන් මුක්ත වූ වායු පරිමාවට වඩා වැඩි බවද නිරීක්ෂණය කළ හැකි ය.
අල්පාම්ලිත ජලය තුළ තනුක සල්ෆියුරික් අම්ලය අයනීකරණයෙන් ලැබුණු H+ හා SO42- අයන ද ජලය විඝටනයෙන් ලැබුණු H+ හා OH- අයන ද අඩංගු වේ. ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙත ගමන් කරන එකම ධන අයනය වන H+ ඉලෙක්ට්‍රෝන ලබා ගනී; කැතෝඩය අසලින් හයිඩ්‍රජන් වායුව මුක්ත වේ. ධන අග්‍රය වෙත SO42- හා OH- අයන ආකර්ෂණය වේ. මෙයින් ඔක්සිකරණය වීමට වඩාත් නැඹුරු වන්නේ OH- අයනයි; ඇනෝඩය අසලින් ඔක්සිජන් වායු බුබුළු පිට වේ.
2H+ (aq) + 2e → H2 (g)
4OH- (aq) → O2 (g) + 2H2O (l) + 4e
2H2O (l) → 2H2 (g) + O2 (g)
(1) කැතෝඩය; (2) ඇනෝඩය; සමස්ත වෙනස
හයිඩ්‍රජන් දෙගුණයක් ඇයි
සමස්ත සමීකරණය පිළිතුර කියයි: ඔක්සිජන් අණුවකට හයිඩ්‍රජන් අණු දෙකක් සෑදේ. වායු අණු සමාන ගණනක් සමාන පරිමා ගන්නා බැවින් හයිඩ්‍රජන් නළය ඔක්සිජන් නළයට වඩා දෙගුණයක් පමණ වේගයෙන් පිරේ. ඉලෙක්ට්‍රෝනවලින් ද එය පරීක්ෂා කළ හැකි ය: ඇනෝඩයේ දී ඉලෙක්ට්‍රෝන 4ක් O2 එකක් සාදන අතර කැතෝඩයේ දී එම ඉලෙක්ට්‍රෝන 4 ම H2 දෙකක් සාදයි. අම්ලය ඇත්තේ ජලය සන්නයනය කිරීමට පමණි — බෙදෙන්නේ ජලයයි.
අල්පාම්ලිත ජලය හයිඩ්‍රජන් හා ඔක්සිජන් ලෙස බෙදේ
කැතෝඩයේ හයිඩ්‍රජන්, ඇනෝඩයේ ඔක්සිජන්, පරිමාවෙන් 2 : 1 අනුපාතයෙන්.