විද්‍යුත් විච්ඡේද්‍ය හා අවිච්ඡේද්‍ය
විද්‍යුත් - විච්ඡේදනය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර, ප්‍රථමයෙන් ම විද්‍යුතය සන්නයනය කරන ද්‍රව/ද්‍රාවණ පිළිබඳ ව සොයා බැලීමට පහත ක්‍රියාකාරකම සිදු කරමු.
ක්‍රියාකාරකම 12.2.1
අවශ්‍ය ද්‍රව්‍ය: කාබන් ඉලෙක්ට්‍රෝඩ, විදුලි පන්දම් කෝෂ දෙකක් (1.5 V), සම්බන්ධක කම්බි, ගැල්වනෝමීටරයක්, බීකර කිහිපයක්, පොල්තෙල්, භූමිතෙල්, ආසූත ජලය, ආම්ලිකෘත ජලය, ලුණු ද්‍රාවණය, එතනෝල් 50 cm3
12.2.1 රූපයේ පරිපථය සකසන්න. ඉහත සඳහන් කළ ද්‍රව/ද්‍රාවණ අඩංගු බීකර තුළට කාබන් ඉලෙක්ට්‍රෝඩ ගිල්වා, ඇමීටරයේ උත්ක්‍රමණයක් වේ දැයි නිරීක්ෂණය කරන්න. ඔබේ නිරීක්ෂණ වාර්තා කරන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
මෙහි දී ඇමීටරයේ උත්ක්‍රමණයක් දැකිය හැකි වන්නේ ඉහත ආම්ලිකෘත ජලය සහ ලුණු ද්‍රාවණය යොදා ගත් විට දී පමණකි. එනම් එම ද්‍රව හරහා විද්‍යුතය සන්නයනය වේ.
විද්‍යුත් විච්ඡේද්‍ය — සන්නයනය කරයි
අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ: ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්, ජලීය කොපර් සල්ෆේට්
අයනික සංයෝගවල විලීන ද්‍රව: රත් කිරීමෙන් ද්‍රව බවට පත් කළ සෝඩියම් ක්ලෝරයිඩ් (විලීන සෝඩියම් ක්ලෝරයිඩ්)
අම්ල ද්‍රාවණ: ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ජලීය සල්ෆියුරික් අම්ලය
භස්ම ද්‍රාවණ: ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, හුනු දියර
විද්‍යුත් අවිච්ඡේද්‍ය — සන්නයනය නොකරයි
සංශුද්ධ ජලය (ආසූත ජලය)
කාබනික ද්‍රව: පෙට්‍රල්, භූමිතෙල්, පැරපින්, හෙක්සේන්
අයන වැදගත් වන්නේ ඇයි
ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත අයන මගින් සෑදුණු ඝන අයනික ස්ඵටිකවල සචලනය විය හැකි අයන අඩංගු නො වේ. එම නිසා ඒවාට විද්‍යුතය සන්නයනය කළ නොහැකි ය. නමුත් ඒවා ජලයේ දිය කළ විට හෝ ද්‍රවයක් බවට පත් වන තුරු තදින් රත් කළ විට (විලීන කළ විට) හෝ එහි ඇති අයන සචලනය විය හැකි තත්ත්වයට පත් වේ. එම නිසා අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ සහ විලීන ද්‍රව විද්‍යුතය සන්නයනය කරයි. පෙට්‍රල්, භූමිතෙල්, පැරපින් වැනි හයිඩ්‍රොකාබන සහසංයුජ බන්ධන සහිත සංයෝග වන අතර විද්‍යුතය සන්නයනය නොකරයි. සංශුද්ධ ජලය ද සහසංයුජ බැවින් එහි අයන නැති තරම් ය. එම නිසා ආසූත ජලය ද විද්‍යුතය සන්නයනය නො කරයි. ජලීය ද්‍රාවණවල දී හයිඩ්‍රොඅයඩික් අම්ලය (HI), හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl), සල්ෆියුරික් අම්ලය (H2SO4) වැනි අම්ලවල සහසංයුජ බන්ධන බිඳී අයන සෑදේ. එබැවින් මෙවැනි අම්ල ද්‍රාවණ ද විද්‍යුතය සන්නයනය කරනු ලබයි.
HCl → H+ (aq) + Cl- (aq)
H2SO4 → 2H+ (aq) + SO42- (aq)
ජලය තුළ
විද්‍යුත් විච්ඡේද්‍යය
විද්‍යුතය සන්නයනය කරන ද්‍රව/ද්‍රාවණ විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස ද, සන්නයනය නොකරන ද්‍රව/ද්‍රාවණ විද්‍යුත් අවිච්ඡේද්‍ය ලෙස ද හැඳින්වේ.
ඝන ලුණු සන්නයනය නොකරයි
සෝඩියම් ක්ලෝරයිඩ් දිය කළ විට හෝ විලීන කළ විට සන්නයනය කරන නමුත් වියළි ස්ඵටිකයක් සන්නයනය නොකරයි: අයන ඇතත් ඒවාට චලනය විය නොහැකි ය.