Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය 3 වන පිටුව (5)

ශෝධනකාරක හා ඖෂධ

සම හා හිසකෙස් පිරිසිදු කිරීමට සබන් හෝ ෂැම්පු වර්ග ද, රෙදි සේදීමට සබන් හෝ ක්ෂාලක ද, ගෙබිම හා බිත්ති පිරිසිදු කිරීමට විවිධ ශෝධනකාරක ද භාවිත කෙරේ. ජලය පමණක් භාවිත කර සිදු කළ නොහැකි සේදුම් කටයුතු වඩා හොඳින් සිදු කර ගැනීමට ශෝධනකාරක වැදගත් වේ.

සබන්වල මූලික අමුද්‍රව්‍ය වනුයේ ශාක තෙල් හෝ සත්ත්ව මේද සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ප්‍රබල භස්මයකි. මේ සඳහා පොල්තෙල් හා වෙනත් ශාක තෙල් සුලභව භාවිත කෙරේ. කඨින ජලයේ දී සබන්වල පෙණ හට ගැනීම ඉතා අඩු ය. මෙයට විසඳුම වශයෙන් කෘත්‍රිම ක්ෂාලක යොදාගනී. මේවා කෘත්‍රිම ව සංශ්ලේෂණය කළ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයකින් නිපදවා ඇත. මෙම දෙවර්ගය ම ජලයට එකතු වීමෙන් ජලජ ජීවීන්ට ද අහිතකර වේ. එමෙන් ම, හෝටල් ආශ්‍රිත සාගර කලාපයේ කොරල්පර විනාශ වීමට ද මිරිදිය ජලාශවල ජෛව විවිධත්වය අඩු වීමට ද මේවා හේතු වී ඇත.

රූපයක් එක් කළ යුතුය

15.27 රූපය — ක්ෂාලක පෙණකැටි.

ඖෂධ, ප්‍රතිපූතික හා පූතිනාශක

අතීතයේ දී මිනිසාට විවිධ අත් බෙහෙත් පිළිබඳ මනා අවබෝධයක් තිබූ අතර ස්වාභාවික ඖෂධ භාවිත කරන ලදී. නමුත් වර්තමානයේ දී සුළු රෝගාබාධ සමනය කර ගැනීමට වෛද්‍ය උපදේශයකින් තොරව නිවසේ දී භාවිත කරන ඖෂධ පවතී. විශේෂයෙන් උණ ඇති විට වේදනා නාශකද, වේදනා හා කැසීම් ඇති විට විවිධ ආලේපන, උදර ආම්ලිකතාව ඇති විට ප්‍රති අම්ල (Antacids) යනාදිය නිදසුන් වේ. තවද කැපීම්, සීරීම් ඇති වූ විට ශල්‍ය ස්ප්‍රීතු වැනි ප්‍රතිපූතික යොදා ගැනේ. ප්‍රතිපූතික (Antiseptics) යනු ක්ෂුද්‍රජීවීන් විනාශ කරන හෝ වර්ධනය වළකාලන ජීවී පටක මත ආලේප කරන රසායනික ද්‍රව්‍යයකි. මේවා භාවිතයේ දී නියමිත මාත්‍රාව පිළි පැදීම හා නියමිත කාලයට ගැනීම ඉතා වැදගත් වේ. වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ දිගින් දිගට ම භාවිත කිරීම ඉතා අනතුරුදායක ය.

අතීතයේ දී විෂබීජ නාශක ලෙස කොහොඹ, කහ දියර, ලුණු දියර භාවිත කළ අතර වර්තමානයේ දී නිවසේ ගෙබිම, මුලුතැන්ගෙය, වැසිකිලි, නාන කාමර ආදිය පිරිසිදු කිරීම සඳහා කෘත්‍රිම විෂබීජ නාශක යොදා ගැනේ. ඒවා පූතිනාශක (Disinfectants) ලෙස හැඳින්වේ. පූතිනාශක මගින් ක්ෂුද්‍රජීවීන් විනාශ කරන අතර ජීවී පටක මත තැවරීම ආරක්ෂිත නොවේ. ඒවා නිතර නිතර භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවන අතර අනවශ්‍ය භාවිතය අත්හැරීම සුදුසු වේ. වැසිකිලියට විෂබීජ නාශක පමණ ඉක්මවා නිතර භාවිත කිරීමෙන් මල දිරාපත් කරන ක්ෂුද්‍රජීවීන් ද විනාශ වේ.

ඖෂධ පූතිනාශක ප්‍රතිපූතික
මැග්නීසියම් කාබනේට් ෆීනෝල් අයඩින්
ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ජෙල් ක්ලෝරින් සර්ජිකල් ස්ප්‍රීතු
ජලීය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් (මිල්ක් ඔෆ් මැග්නීසියා) මද්‍යසාර බෝරික් අම්ලය

ප්‍රතිපූතික යනු පූතිනාශක නොවේ

ප්‍රතිපූතික සම හා තුවාල මත යොදයි; පූතිනාශක ගෙබිම් හා වැසිකිලි සඳහා වන අතර කිසි විටෙක දේහය මත නොයෙදිය යුතු ය.

ගෘහස්ථ රසායන ප්‍රවේශමෙන් භාවිත කරන්න

ක්ෂාලක ජලජ ජීවීන්ට හා කොරල්පරවලට හානි කරයි; ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් හා කාලයට ගත යුතු ය; ප්‍රතිපූතික ජීවී පටක සඳහා ද පූතිනාශක පෘෂ්ඨ සඳහා ද වේ.