Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — මිශ්‍රණ

3.4. වෙන් කිරීමේ ශිල්පක්‍රමවල භාවිතය 2 වන පිටුව (3)

සගන්ධ තෙල්

කුරුඳු පොතු කැබැල්ලකින් කුරුඳු සුවඳ එන්නේ එහි ඇති වාෂ්පශීලී සංයෝගයක් නිසා ය. එම සංයෝග ලබා ගැනීම මත ශ්‍රී ලංකාව අපනයන කර්මාන්තයක් ගොඩනඟා ඇත.

සගන්ධ තෙල්

ශාක ද්‍රව්‍යවලින් ලබාගන්නා වාෂ්පශීලී සංයෝග සගන්ධ තෙල් වශයෙන් හැඳින්වේ. සමහර ශාක ද්‍රව්‍යවලට අදාළ ලාක්ෂණික ගන්ධයට හේතුව ඒවායේ අඩංගු මෙවැනි වාෂ්පශීලී සංයෝගයි.

මෙරට නිපදවන ප්‍රධාන ඒවා

අපේ රටේ නිපදවන ප්‍රධාන සගන්ධ තෙල් වර්ග කිහිපයක්:

  • කුරුඳු කොළ තෙල්
  • කුරුඳු පොතු තෙල්
  • පැඟිරි තෙල්
  • ගම්මිරිස් තෙල්
  • කරදමුංගු තෙල්
  • සාදික්කා තෙල්
  • කරාබු නැටි තෙල්
  • යුකැලිප්ටස් තෙල්

කුරුඳු පොතු තෙල්, ගම්මිරිස් තෙල් හා කරදමුංගු තෙල් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ ආහාරයේ රසය සහ සුවඳ වැඩි කරගැනීමට ය. කුරුඳු කොළ තෙල්, ගම්මිරිස් තෙල් හා කරදමුංගු තෙල් ඖෂධීය ගුණයෙන් ද යුක්ත වන අතර ඖෂධීය ආලේප, දන්තාලේප සහ සබන්වල සුවඳකාරක නිෂ්පාදනය සඳහා බහුල ව යොදා ගැනේ.

තෙල් ඇත්තේ ශාකයේ කුමන කොටසේ ද

ශාකය සගන්ධ තෙල් පවතින කොටස / කොටස්
සැවැන්දරා (Veitiveria) මුල්
සඳුන් (Sandalwood) කඳ
කුරුඳු (Cinnamon) පොතු, මුල් හා කොළ
පැඟිරි (Citronella) කොළ
සේර (Lemongrass) කොළ
යුකැලිප්ටස් (Eucalyptus) කොළ
කරාබුනැටි (Clove) පුෂ්ප කොටස්
රෝස (Rose) / සමන්පිච්ච (Jasmine) මල්
ලෙමන් (Lemon) / දෙහි (Lime) ඵල
සාදික්කා (Nutmeg) බීජ

සගන්ධ තෙල් භාවිත වන තැන්

  • ආහාර රස කාරක හා සුවඳ කාරක ලෙස ගනී
  • සුවඳ විලවුන් නිපදවීමට ගනී
  • දන්තාලේපවල සංඝටක ලෙස යොදයි
  • ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කරයි