ඉලෙක්ට්‍රෝන හා කුහර
0 K උෂ්ණත්වයේ දී සිලිකන් දැලිසේ සියලු බන්ධන සම්පූර්ණ ව පවතියි. 0 K ට වැඩි උෂ්ණත්වයක දී සමහර බන්ධන කැඩී ඉලෙක්ට්‍රෝන නිදහස්ව ඇත.
රූපයක් එක් කළ යුතුය
කුහරය
බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තිබූ ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඌනතාවක් ඇති වේ. මෙම ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානය කුහරයක් (hole) ලෙස හඳුන්වනු ලැබේ. න්‍යෂ්ටියේ ඇති ධන ආරෝපිත ප්‍රෝටෝන නිසා මෙහි උදාසීන නොවූ ධන ආරෝපණයක් ඇති වේ. මේ නිසා කුහරයක් ධන ආරෝපණයකට අනුරූප වේ.
ධන ආරෝපණ සහිත කුහරයකට යාබද පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් පැනීම නිසා කුහරය පිහිටන ස්ථානය වෙනස් විය හැකි ය. මෙලෙස පරමාණුවෙන් පරමාණුවට මාරුවෙමින් දැලිස පුරා ගමන් කිරීම මගින් කුහරවලට ද ධාරාවක් ගෙන යාමට දායක විය හැකි ය. දැලිස තුළ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන, ඍණ ආරෝපිත ධාරා වාහක ලෙස ක්‍රියා කරන අතර කුහර, ධන ආරෝපිත ධාරා වාහක ලෙස ක්‍රියා කරයි.
මේ නිසා අර්ධ සන්නායකයක් හරහා විද්‍යුත් විභව අන්තරයක් ඇති කළ විට ධන විභවයේ සිට ඍණ විභවය දෙසට කුහරත්, ඍණ විභවයේ සිට ධන විභවයට ඉලෙක්ට්‍රෝනත් ගමන් කරන අතර (සම්මත) ධාරාව ධන විභවයේ සිට ඍණ විභවයට ගලා යයි.
- ලෝහ සන්නායකවල විද්‍යුත් සන්නයනය සිදු කරන ආරෝපණ වාහක නිදහස් ඍණ ඉලෙක්ට්‍රෝනයන් ය.
- අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නයනයට සහභාගී වන ආරෝපණ වාහක ලෙස නිදහස් ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනත් ධන ආරෝපණයන්ට අනුරූප කුහරත් ක්‍රියා කරයි.
- බන්ධනයක් කැඩී ඉලෙක්ට්‍රෝනයක් නිදහස්වත්ම කුහරයක් ඇති වන හෙයින් සංශුද්ධ අර්ධ සන්නායකයක පවතින නිදහස් වාහක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එහි පවතින කුහර සංඛ්‍යාවට සමාන වේ.
- මේ නිසා අර්ධ සන්නායක දැලිස විද්‍යුත් වශයෙන් උදාසීන වේ.