Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

උෂ්ණත්ව පරිමාණ 2 වන පිටුව (3)

කෙල්වින් පරිමාණය

සෙල්සියස් සහ ෆැරන්හයිට් පරිමාණවල ශූන්‍ය අගයන් එම පරිමාණ සකස් කළ අයගේ අභිමතය අනුව තෝරා ගෙන ඇත. නමුත් පසු කලෙක දී, යම් වස්තුවක උෂ්ණත්වයට තිබිය හැකි අවම අගයක් ඇති බව බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයකු වූ කෙල්වින් සාමිවරයා විසින් පෙන්වා දෙන ලදි. මෙම උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යය ලෙස හැඳින්වෙයි.

රූපයක් එක් කළ යුතුය

9.6 රූපය — කෙල්වින් සාමිවරයා.

වස්තුවක උෂ්ණත්වය යනු එම වස්තුව සෑදී ඇති අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක් බැවින් අංශුවල චාලක ශක්තිය අඩු වන විට වස්තුවේ උෂ්ණත්වය අඩු වේ. යම් වස්තුවක ඇති සියලු අංශුවල චාලක ශක්තිය ශූන්‍ය වූ විට එම වස්තුවේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යය බවට පත් වේ. එහි උෂ්ණත්වය එම අගයට වඩා අඩු කළ නොහැකි ය. මෙම උෂ්ණත්වය සෙල්සියස් පරිමාණයෙන් −273.15 °C බව සොයා ගෙන ඇත.

කෙල්වින් පරිමාණය

එම පරිමාණයේ ශූන්‍යය (0 K) නිරපේක්ෂ ශූන්‍යය වන ලෙසට සකස් කර ඇත. නමුත් එහි දී කෙල්වින් 1ක (1 K) උෂ්ණත්ව පරාසයක් 1 °Cක උෂ්ණත්ව පරාසයකට සමාන වන ලෙස තෝරා ගෙන ඇත. මේ අනුව අයිස් දිය වන උෂ්ණත්වය 273.15 K වන අතර ජලය නටන උෂ්ණත්වය 373.15 K ද වේ. ආසන්න වශයෙන් මෙම උෂ්ණත්ව දෙක පිළිවෙළින් 273 K සහ 373 K ලෙස සැලකේ.

උෂ්ණත්වය මැනීමේ අන්තර් ජාතික ඒකකය කෙල්වින් (K) වේ.

පරිමාණ සකස් කළේ කවුද

  • ෆැරන්හයිට් පරිමාණය: ගේබ්‍රියල් ෆැරන්හයිට් (1686 - 1736)
  • සෙල්සියස් පරිමාණය: ඇන්ඩර්ස් සෙල්සියස් (1701 - 1744)
  • කෙල්වින් පරිමාණය: කෙල්වින් සාමිවරයා (1824 - 1907)
  • වෛද්‍ය උෂ්ණත්වමානය (උණ කටුව): ක්ලිෆර්ඩ් ඕල්බට් (1836 - 1925)