Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.1. උෂ්ණත්වය 2 වන පිටුව (3)

උෂ්ණත්වමාන

විවිධ වස්තු අතින් ස්පර්ශ කර බැලීමෙන් ඒවායේ උණුසුම පිළිබඳ ව දළ අදහසක් ලබාගන්නට අපට හැකි වේ. නමුත් ස්පර්ශ කිරීමෙන් දැනෙන උෂ්ණත්වය එතරම් නිවැරදි නොවීම සහ එය සංඛ්‍යාත්මක අගයක් ලෙස ප්‍රකාශ කළ නොහැකි වීම නිසා උෂ්ණත්වය මැනීමට එය සුදුසු ක්‍රමයක් නොවේ.

උෂ්ණත්වමානය

උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගනු ලබන උපකරණය උෂ්ණත්වමානය යි. ලොව මුල්ම උෂ්ණත්වමානය නිපදවා ඇත්තේ ක්‍රි. ව. 1600 දී පමණ ගැලීලියෝ ගැලීලි විසිනි.

රූපයක් එක් කළ යුතුය

9.2 හා 9.3 රූප — ගැලීලියෝ නිපදවූ උෂ්ණත්වමානයක් සහ ගැලීලියෝ ගැලීලි.

වීදුරු - රසදිය උෂ්ණත්වමානය

වීදුරු - රසදිය උෂ්ණත්වමානයක්, එක් කෙළවරක රසදිය අඩංගු බල්බයකින් සහ එයට සම්බන්ධ වී ඇති සිහින් සිදුරකින් යුත් (කේශික) වීදුරු නළයකින් ද සමන්විත වේ. උෂ්ණත්වය වැඩි වන විට බල්බයේ අඩංගු රසදිය ප්‍රසාරණය වී නළයේ ඇති සිහින් සිදුර දිගේ ගමන් කරයි. නළයේ සලකුණු කර ඇති පරිමාණයෙන් රසදිය කඳේ දිග අනුව උෂ්ණත්වය කියවා ගත හැකි ය. කුඩා උෂ්ණත්ව වෙනසකට, පරිමාවේ කුඩා වෙනසක් සිදු වුව ද, රසදිය ගමන් කරන නළයේ සිදුරේ විෂ්කම්භය ඉතා අඩු නිසා රසදිය කඳ පැහැදිලි ව පෙනෙන ප්‍රමාණයේ දුරක් ගමන් කරයි.

රූපයක් එක් කළ යුතුය

9.4 රූපය — වීදුරු - රසදිය උෂ්ණත්වමානයක්: තුනී වීදුරු බල්බය, රසදිය, සහ කේශික සිදුරක් සහිත වීදුරු කඳ.

රසදිය යොදන්නේ ඇයි

  • රසදියෙහි ප්‍රසාරණය පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ ඒකාකාරී වීම.
  • රසදිය හොඳින් තාපය සන්නයනය කිරීම.
  • −39 °C සිට 357 °C දක්වා රසදිය ද්‍රවයක් ලෙස පැවතීම.

රසදිය විෂ සහිත ය

රසදිය ඉතා විෂ සහිත ද්‍රවයක් බැවින් වීදුරු - රසදිය උෂ්ණත්වමානයක් බිඳීගිය විට විශාල පරිසර දූෂණයක් ඇති විය හැකි ය. මේ හේතුව නිසා රසදිය උෂ්ණත්වමාන භාවිතය අඩු වෙමින් පවතී.