Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

ට්‍රාන්සිස්ටරයේ භාවිත 4 වන පිටුව (4)

අඳුර වැටෙන විට ක්‍රියා කරන ස්විච්චය

මෙම මූලධර්මය භාවිත කොට අඳුරු වැටෙන විට ස්වයංක්‍රීයව ක්‍රියා කරන ස්විච්ච පරිපථයක් නිර්මාණය කරන ආකාරය ආදර්ශනය කිරීමට 11.6 ක්‍රියාකාරකමෙහි යෙදෙමු. මෙහි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධකයක් (LDR - Light-Dependent Resistor) ආලෝක සංවේදකය ලෙස යොදා ගෙන ඇත. මෙහි ඉදිරි පෘෂ්ඨයට ආලෝකය වැටුණු විට එහි ප්‍රතිරෝධය ඉතා අඩු වන අතර (Ω ගණයේ) අඳුරේ දී ප්‍රතිරෝධය ඉතා වැඩි (100 kΩ ගණයේ) වේ.

11.6 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: D400 හෝ D313 ට්‍රාන්සිස්ටරයක්, LDR එකක්, 10 kΩ පරිමා පාලකයක් (VR), 2.5 V බල්බයක්, 3 V බැටරි කවරයක්, පරිපථ පුවරුවක් හා සම්බන්ධක කම්බි

  1. LDRහි උඩ පෘෂ්ඨය ඇඟිලි තුඩින් වසා (අඳුරු කොට) බල්බය දැල්වෙන තෙක් VR හි ප්‍රතිරෝධ සීරුමාරු කරන්න.
  2. ඇඟිලි තුඩ ඉවත් කොට LDR මතට ආලෝකය පතිත වීමට ඉඩ දෙන්න.

රූපයක් එක් කළ යුතුය

11.6 ක්‍රියාකාරකම — පරිපථය.

නිරීක්ෂණය

එවිට බල්බය නිවෙනු ඇත (අවශ්‍ය පමණට අඳුර වැටෙන විට බල්බය දැල්වෙන සේ VR සකස් කර ගත හැකි ය).

විභව බෙදුම

11.6 ක්‍රියාකාරකමෙහි VR විචල්‍ය ප්‍රතිරෝධකය හා LDR එක, විභව බෙදුමක් (potential divider) ලෙස ක්‍රියා කරයි. ඕම්ගේ නියමයෙන් 3 = I (R1 + R2); B හි විභවය VB නම්, VB = R2I = 3R2 ÷ (R1 + R2). R1 නියත ව තබා R2 වෙනස් කිරීමෙන් 0 සිට 3 V දක්වා ඕනෑ ම විභවයක් එම ලක්ෂ්‍යයට ලබා දිය හැකි ය.

R1 = 10 kΩ නම් VB = 0.7 V වීමට R2:

0.7 = 3R2 ÷ (10 000 + R2)

7000 + 0.7R2 = 3R2

7000 = 2.3R2

R2 = 7000 ÷ 2.3 ≈ 3043 Ω

LDR මතට ලැබෙන ආලෝකය අඩු වීමෙන් එහි ප්‍රතිරෝධය 3043 Ω දක්වා වැඩි වූ විට බල්බය යන්තමින් දැල්වෙන අතර තවත් අඳුරු වූ විට විභවය 0.7 ට වැඩි වීමෙන් IC ධාරාව උපරිම ලෙස වැඩි වේ (ස්විච්චය සංවෘත වේ).