පොලිසැකරයිඩ (Polysaccharides)
"පොලි" යනු "බොහෝ" යන්නයි. මොනොසැකරයිඩ අණු විශාල ගණනක් දිගු දම්වැලක් සේ එකට බැඳුණු විට (බහුඅවයවීකරණය වූ විට) පොලිසැකරයිඩයක් සෑදේ. මෙම දම්වැල ජල විච්ඡේදනය කළ හොත් එය නැවත මොනොසැකරයිඩ බවට කැඩී යයි.
පොදු ලක්ෂණ
සීනි මෙන් නොව, පොලිසැකරයිඩවල ලක්ෂණ තරමක් වෙනස් ය. බත් ඇටයක් හෝ කඩදාසියක් (සෙලියුලෝස්) ගැන සිතුවොත් මේවා පහසුවෙන් මතක තබා ගත හැකි ය:
- සීතල ජලයේ දිය නොවේ.
- ස්ඵටික ලෙස නොපවතී.
- පැණි රසයක් නැත.
එක ම ඒකකය — වෙනස් ප්‍රතිඵල
සෙලියුලෝස්, පිෂ්ටය සහ ග්ලයිකොජන් යන තුනෙහි ම තැනුම් ඒකකය ග්ලූකෝස් ය. එසේ නම් ඒවා එකිනෙකට වෙනස් වන්නේ ඇයි? දම්වැලේ ඇති ග්ලූකෝස් අණු ගණනත්, ඒවා එකිනෙක සම්බන්ධ වී ඇති ආකාරයත් වෙනස් වීම ඊට හේතුවයි. එක ම ගඩොල් වර්ගයෙන් නිවසක් හෝ තාප්පයක් හෝ ස්මාරකයක් තැනිය හැකිය එලෙස ග්ලූකෝස් අණු විවිධ ආකාරයෙන් සංයෝජනයවීමෙන් විවිධ ප්‍රතිඵල ලැබේ.
පොලිසැකරයිඩ තුන සසඳමු
| වර්ගය | හමු වන තැන් | දැනගත යුතු කරුණු |
|---|---|---|
| සෙලියුලෝස් | ශාක සෛලවල සෛල බිත්තිය, ශාකවල ඇති කෙඳි (තන්තු) | මිනිසාට සෙලියුලෝස් ජීරණය කළ නොහැකි නිසා එයින් පෝෂණයක් නොලැබේ. එසේ වුව ද, ආහාරයේ ඇති මෙම කෙඳි මලබද්ධය ඇති වීම වළක්වයි. |
| පිෂ්ටය | ධාන්‍ය, අල වර්ග, කොස්, දෙල් | ශාක අතිරික්ත කාබොහයිඩ්‍රේට තැන්පත් කර තබන්නේ පිෂ්ටය ලෙස ය. |
| ග්ලයිකොජන් | සතුන්ගේ අක්මාව සහ පේශි | සතුන් තම සිරුරේ අතිරික්ත කාබොහයිඩ්‍රේට ගබඩා කර තබා ගන්නේ ග්ලයිකොජන් ලෙස ය. |
ඔබේ මතකයට
පිෂ්ටය — ශාකයේ ආහාර ගබඩාව. ග්ලයිකොජන් — සත්ත්වයාගේ ආහාර ගබඩාව. සෙලියුලෝස් — ශාකයේ ශරීරය ගොඩනගන ද්‍රව්‍යය.