Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.5. ඉපිලීම සහ උඩුකුරු තෙරපුම 4 වන පිටුව (6)

උඩුකුරු තෙරපුම මැනීම

උඩුකුරු තෙරපුම ඇති බව දැන් අප දනිමු. ඊළඟ ප්‍රශ්නය එහි විශාලත්වය කුමක් මත රඳා පවතී ද යන්න ය.

ක්‍රියාකාරකම 15.4

  • ඝනකාකාර ලෝහ කැබැල්ලක් ගෙන එහි පරිමාවෙන් හරි අඩක් දැක්වෙන සේ සලකුණක් යොදන්න.
  • දැන් එය දුනු තරාදියකින් එල්ලා වාතයේ දී බර කිරා ගන්න.
  • සුදුසු බීකරයක් ගෙන එහි බර මැන ගන්න.
  • (a), (b), (c) හා (d) යන එක් එක් අවස්ථාවේ මට්ටම්වලට ලෝහ කැබැල්ල ගිල්වා, දුනු තරාදි පාඨාංක සහ විස්ථාපිත ජලය සහිත බීකරයේ බර මැන ගන්න.

රූපයක් එක් කළ යුතුය

15.17 රූපය — උඩුකුරු තෙරපුම ගණනය කිරීම සඳහා ඇටවුම; (a) ඝනකය ජල පෘෂ්ඨය ආසන්නයේ, (b) අඩක් ගිලී, (c) සම්පූර්ණයෙන් ගිලී පෘෂ්ඨය ආසන්නයේ, (d) සම්පූර්ණයෙන් ගිලී ජලය තුළ පහළින්.

ශිෂ්‍යයෙකුට ලැබුණු පාඨාංක

අවස්ථාව දුනු තරාදි පාඨාංකය (N) විස්ථාපිත ජලය සහිත බීකරයේ බර (N)
a — ඝනකය ජල පෘෂ්ඨය ආසන්නයේ 1.2 1.3
b — ඝනකය අඩක් ජලයේ ගිලී 0.9 1.6
c — සම්පූර්ණයෙන් ගිලී, පෘෂ්ඨය ආසන්නයේ 0.6 1.9
d — සම්පූර්ණයෙන් ගිලී, ජලය තුළ පහළින් 0.6 1.9

පාඨාංකවලින් ලැබෙන ගණනය

උඩුකුරු තෙරපුම = වාතයේ දී බර − දුනු තරාදි පාඨාංකය. විස්ථාපිත ජලයේ බර = බීකරයේ බර − හිස් බීකරයේ බර.

අවස්ථාව උඩුකුරු තෙරපුම (N) විස්ථාපිත ජල පරිමාවේ බර (N)
a 0 0
b 0.3 0.3
c 0.6 0.6
d 0.6 0.6

තීරු දෙක එක ම ය

සෑම අවස්ථාවක ම උඩුකුරු තෙරපුම, වස්තුව මගින් විස්ථාපනය වූ ජලයේ බරට හරියට ම සමාන ය.

c සහ d අවස්ථා දෙකේ පාඨාංක සමාන වීම ද සලකන්න — වස්තුව සම්පූර්ණයෙන් ගිලුණු පසු එය තව ගැඹුරට ගෙන ගිය ද, විස්ථාපිත ජල පරිමාව වෙනස් නොවන බැවින් උඩුකුරු තෙරපුම ද වෙනස් නොවේ.