එන්සයිම (Enzymes)
ජීවියෙකු තුළ තත්පරයක් පාසා රසායනික ප්‍රතික්‍රියා දහස් ගණනක් සිදු වේ. ඒවා ඉක්මනින් සිදු කරවන්නේ එන්සයිම ය. එන්සයිම යනු ජීවීන් විසින් ම නිපදවන විශේෂ ප්‍රෝටීන වන අතර, ඒවා ජෛව රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි කරයි.
ප්‍රතික්‍රියාවක් වේගවත් කරමින්, ප්‍රතික්‍රියාව අවසානයේ දී තමන් වෙනස් නොවී ඉතිරි වන ද්‍රව්‍යයක් උත්ප්‍රේරකයක් ලෙස හැඳින්වේ. එන්සයිම ද එසේ ක්‍රියා කරන අතර ඒවා කාබනික සංයෝග නිසා කාබනික උත්ප්‍රේරක ලෙස නම් කෙරේ.
එන්සයිමයක බලය — නිදසුනක්
රසායනාගාරයේ
සුක්‍රෝස් බිඳහෙලා ග්ලූකෝස් ලබා ගැනීමට රසායනාගාරයේ දී එය තනුක අම්ලයක් සමඟ රත් කිරීමට සිදු වේ.
ඔබේ ශරීරය තුළ
ආහාර ජීරණ පද්ධතියේ ඇති එන්සයිම, අම්ලයක් හෝ රත් කිරීමක් නොමැති ව, සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වයේ දී ම එම ප්‍රතික්‍රියාව පහසුවෙන් සිදු කරයි.
එන්සයිම නොතිබුණා නම්, සිරුර තුළ සිදු විය යුතු ප්‍රතික්‍රියා කෙතරම් සෙමින් සිදු වේ ද යත්, ජීවියෙකුගේ මුළු ජීවිත කාලය තුළ වුව ද ඒවා අවසන් නොවනු ඇත.
ක්‍රියාකාරකම — පිෂ්ටය මත ඇමයිලේස් ක්‍රියා කිරීම
එන්සයිමයක් වැඩ කරන අයුරු ඔබේ ඇස් ඉදිරිපිට ම දැක ගත හැකි සරල පරීක්ෂණයක් සැලසුම් කරමු.
ක්‍රමය
- පාන් පිටි ජලයේ මිශ්‍ර කර සාදා ගත් ද්‍රාවණයෙන් 2ml පරීක්ෂා නළයකට දමන්න.
- එම ප්‍රමාණය ම (2ml) ඇමයිලේස් එන්සයිම ද්‍රාවණය එයට එක් කරන්න.
- මිනිත්තු දෙකක් ගත වූ පසු, මිශ්‍රණයෙන් එක් බිංදුවක් සුදු පිඟන් ගඩොලක් මතට ගන්න.
- ඒ මතට අයඩීන් ද්‍රාවණ බිංදුවක් දමන්න.
- මිනිත්තු 20ක් පමණ ගත වන තුරු, සෑම මිනිත්තු දෙකකට වරක් ම මෙය නැවත කරන්න.
නිරීක්ෂණය
මුල් බිංදුවල තද නිල් පැහැය පෙනුණ ද, කාලයත් සමඟ පසුව ගන්නා මිශ්‍රණවලදී අයඩීන්වල තද නිල් පැහැය අඩු වී යයි. මිනිත්තු 20කට පමණ පසු අයඩීන් දැමූ විට අයඩීන්වල ම පැහැය හැර වෙනත් වර්ණයක් නොපෙනේ.
නිගමනය
අයඩීන් නිල් පැහැයට හැරෙන්නේ පිෂ්ටය ඇති විට පමණක් බව අපි දනිමු. එම නිල් පැහැය නැති වී ගියේ නම්, නළයේ පිෂ්ටය ඉතිරි වී නැති බව එයින් පෙනේ. ඇමයිලේස් එන්සයිමය පිෂ්ටය කඩා මෝල්ටෝස් බවට පත් කර තිබීම එයට හේතුවයි.