Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

අවශෝෂණය හා මහාන්ත්‍රය 3 වන පිටුව (3)

මහාන්ත්‍රය

මහාන්ත්‍රය මීටර 1.5ක් පමණ දිග ය. එය උණ්ඩුකයෙන් ආරම්භ වී ගුදයෙන් අවසන් වේ. මහාන්ත්‍රයේ විදුර කොටස වන ගුද මාර්ගය තරමක් පළල් වූ ප්‍රදේශයකි. එහි කෙළවර පිහිටි විවරය ගුදයයි.

මහාන්ත්‍රයට ඇතුළු වන ද්‍රව්‍යවල පෝෂක අඩංගු වන්නේ අල්ප වශයෙනි. එම ද්‍රව්‍යවල බොහෝ සෙයින් ඇත්තේ ජලය හා ජීරණය නො වූ සෙලියුලෝස් වැනි සංයෝගයි. මහාන්ත්‍රය මගින් සිදුකරන කෘත්‍ය වනුයේ මහාන්ත්‍රයට ඇතුළු වන තරලමය ද්‍රව්‍යවලින් ජලය අවශෝෂණය කර එම ද්‍රව්‍ය අර්ධ ඝන තත්ත්වයට පත් කිරීමයි.

මහාන්ත්‍රයේ ඇති ද්‍රව්‍ය ගුද මාර්ගයට ඇතුළු වූ විට මල වශයෙන් හැඳින්වේ. මල අර්ධ ඝන ද්‍රව්‍යයක් වන අතර එහි ඇති පිත්ත වර්ණක නිසා කහ පැහැයක් ගනී. මලවල ජීරණය නොවූ ද්‍රව්‍ය, ක්ෂුද්‍රජීවීන්, ආහාර මාර්ග බිත්තියෙන් ගැලවුණු අපිච්ඡද සෛල හා ශ්ලේෂ්මලය අඩංගු වේ. ගුද මාර්ගය මල ද්‍රව්‍යවලින් පිරුණ විට ගුදය ඔස්සේ සිරුරෙන් බැහැර කෙරේ.

උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය

මහාන්ත්‍රය ආරම්භ වන උණ්ඩුකයේ පසු කෙළවරින් උණ්ඩුක පුච්ඡය නම් සංවෘත කුඩා නාලයක් ඇත. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය කුඩා ය. ඇතැම් විට මෙය ආසාදනය වී ඉදිමීමට ඉඩ ඇත. මෙම රෝගී තත්ත්වය උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය (Appendicitis) නම් වේ.