Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.3. පදාර්ථයේ අවස්ථා විපර්යාස 2 වන පිටුව (4)

ගුප්ත තාපය

කාමර උෂ්ණත්වයේ දී ඝන ලෙස පවතින ද්‍රව්‍යයක අණුවලට යම් ප්‍රමාණයක කම්පන චාලක ශක්තියක් පවතියි. තාපය සැපයීමේ දී, මෙම කම්පන චාලක ශක්තිය ක්‍රමයෙන් වැඩි වන අතර ඒ අනුව ද්‍රව්‍යයේ උෂ්ණත්වය ද වැඩි වේ. එම ද්‍රව්‍යයට දිගටම තාපය සපයන විට එක්තරා අවස්ථාවක දී අණුවල චාලක ශක්තිය, අණු අතර ඇති බන්ධන බිඳී අණුවලට නිදහසේ චලනය වීමට සැලැස්වීමට තරම් ප්‍රමාණවත් වෙයි.

මෙම අවස්ථා විපර්යාසය සිදු වන අවස්ථාවේ දී බාහිරින් තාපය ලෙස සැපයෙන ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැය වන නිසා එමගින් ද්‍රව්‍යයේ උෂ්ණත්වය වැඩිවීමක් සිදු නොවේ. අවස්ථා විපර්යාසය සම්පූර්ණ වූ පසු සැපයෙන තාපය නැවත පද්ධතියේ උෂ්ණත්වය වැඩි වීම සඳහා භාවිත වේ.

ගුප්ත තාපය

මෙසේ අවස්ථා විපර්යාසය සිදු වන අවස්ථාවේ දී උෂ්ණත්වය වැඩි වීමක් සිදු නොවී ලබා ගන්නා තාපය ගුප්ත තාපය (latent heat) නමින් හැඳින්වේ.

විලයනයේ ගුප්ත තාපය

0 °C හි පවතින අයිස් 0 °C හි පවතින ජලය බවට පත්වීමේ දී උරා ගන්නා තාපය. ඝනයක් ද්‍රව බවට පත්වීම විලයනය නමින් හැඳින්වේ.

ජලය සිසිල් කිරීමේ දී එම ගුප්ත තාපය නැවත පිට වේ.

වාෂ්පීකරණයේ ගුප්ත තාපය

100 °C හි පවතින ජලය 100 °C හි හුමාලය බවට පත්වීමේ දී උරා ගන්නා තාපය. ජලය සියල්ල හුමාලය බවට පත්වන තෙක් ජලයේ උෂ්ණත්වය ඉහළ නොයයි.

වාෂ්ප ඝනීභවනය වීමේ දී එම ගුප්ත තාපය පිට කෙරේ.

රූපයක් එක් කළ යුතුය

9.12 හා 9.13 රූප — 0 °C හි ඝන අයිස් ගුප්ත තාපය ලබා 0 °C හි ද්‍රව ජලය බවට ද, 100 °C හි ජලය ගුප්ත තාපය ලබා 100 °C හි හුමාලය බවට ද පත්වීම.