නිදන්ගත වකුගඩු රෝගය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිත ව ව්‍යාප්ත වෙමින් පවතින කෙටිකාලයක් තුළ වකුගඩු අකරණිය වීමේ රෝගී තත්ත්වය නිදන්ගත වකුගඩු රෝගය ලෙස හැඳින්වේ.
එහි විශේෂත්වය
- සාමාන්‍යයෙන් කාලීන වකුගඩු අකරණියට ලක් වන්නේ පාලනය නොකළ දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇති රෝගීන් වුවද, නිදන්ගත වකුගඩු රෝගය එවැනි පූර්ව රෝගී තත්ත්ව නොමැති අයට ද වැළඳේ.
- රෝගී වන වැඩි දෙනෙක් කෘෂි කර්මාන්තයේ යෙදෙන්නන් වේ. කෘෂි රසායන ඉසීම සිදු කරන්නන් රෝගී වීමේ ප්‍රවණතාව ඉතා වැඩි ය.
- පළමු රෝගියා 1994 දී පදවිය ගොවි ජනපදයෙන් වාර්තා වූ අතර මුල් යුගයේ දී අවුරුදු 50 - 60 වයසේ ගොවීන් ඊට ගොදුරු වන බව පෙනුන ද, වර්තමානයේ අවුරුදු 25 - 30 වයසේ අය ද රෝගී වේ. එසේම කාන්තාවන්ට වඩා වැඩි වශයෙන් පිරිමින් මෙම රෝගයට ගොදුරු වේ.
- රෝග ලක්ෂණ පමා වීම නිසා දීර්ඝ කාලයක සිට රෝගය තමන්ට ඇත්දැයි නොදැනීම සිදුවේ. සමහර අවස්ථාවල දී රෝග ලක්ෂණ දැන ගන්නා විට වකුගඩුවලින් 40%- 60% ක ප්‍රමාණයක් අක්‍රිය වී අවසානය ය.
- රෝගී වන්නන්ගෙන් වැඩි බහුතරය කඨින ජලය පානය කරන පුද්ගලයන් බව සොයා ගෙන ඇත.
නිදන්ගත වකුගඩු රෝගය ඇති කිරීමට හේතු ලෙස හඳුනාගෙන ඇති කරුණු: නීල හරිත ඇල්ගී මගින් මුදා හරින විෂ ශරීරගත වීම, කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම, බැර ලෝහ වර්ග ශරීර ගත වීම (Cd, Pb, As වැනි), ෆ්ලෝරයිඩ් සහිත ජලය පානය කිරීම, අධික විජලනය, පාලනයකින් තොර ඖෂධ භාවිතය, මත්පැන් වර්ග පානය කිරීම.
නිදන්ගත වකුගඩු රෝගයෙන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග
- කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් හා ඒවා යෙදූ ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වැළකීම.
- දියවැඩියාව, අධි රුධිර පීඩනය වළක්වා ගැනීම හා පාලනයට අදාළ යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාම.
- ළමා අවධියේ හෝ වැඩිහිටියන්ගේ නිතර ඇතිවන මූත්‍ර ආසාදන අවම කර ගැනීම.
- වැඩිහිටියකු දිනකට පිරිසිදු ජලය ලීටර් 3.5 - 4.5 ක් හෝ බෝතල් 5-6 ක් පමණ පානය කිරීම.
- සමෙහි ඇතිවන ආසාත්මිකතාවල දී (තුවාල, දද, කුෂ්ට) ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම.
- වේදනා නාශක ඖෂධ වර්ග අනිසි ලෙස භාවිතයෙන් වැළකීම.
- මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකීම.
හේතුව නිශ්චිතව හඳුනා ගැනීම මෙතරම් අපහසු වන්නේ ඇයි
කිසිදු තනි හේතුවක් එය පැහැදිලි නොකරන බැවින් මෙම රෝගය බොහෝ විට නිශ්චිත හේතුවක් නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය (CKDu) ලෙස හැඳින්වේ. වැඩිපුරම බලපෑමට ලක් වූ ප්‍රදේශවලට එකවර කරුණු කිහිපයක් පොදු ය — කඨින, ෆ්ලෝරයිඩ් බහුල භූගත ජලය, කෘෂි රසායනවල අධික භාවිතය, ගොවීන් විජලනය කරන උණුසුම් වැඩ හා බැර ලෝහ අංශු මාත්‍ර — ඒ එක එකක් අනෙක්වා කරන හානියට එකතු විය හැකි ය. පැහැදිලි වන්නේ ඉහත පියවර ඒ සියල්ලට ම එකවර නිරාවරණය අඩු කරන බවත් බොහෝ ගම්මානවල ස්ථාපිත ප්‍රතිලෝම ආස්‍රැති පිරිපහදු කම්හල් වැනි ආරක්ෂිත පානීය ජලය උපකාරී වන බවත් ය.
කෘෂි ප්‍රදේශවල වකුගඩු රෝගයක්
ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගය දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය නැති ගොවීන්ට වැළඳේ; කෘෂි රසායන, බැර ලෝහ, ෆ්ලෝරයිඩ්, කඨින ජලය හා විජලනය සැක කෙරේ.