Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.3. පරිසර දූෂක හා ඒවායේ ප්‍රභව 5 වන පිටුව (6)

අංශුමය අපද්‍රව්‍ය, SO2 හා NOx

විවිධ ක්‍රමවලින් වාතයට අංශුමය අපද්‍රව්‍ය එකතු වේ. අංශුමය අපද්‍රව්‍ය, ඝන අංශුමය අපද්‍රව්‍ය සහ ද්‍රව අංශුමය අපද්‍රව්‍ය ලෙස ආකාර දෙකක් ඇත.

ඝන අංශුමය අපද්‍රව්‍ය

කාබන් අංශු

බැර ලෝහ අංශු

අළු, දූවිලි

ඇස්බැස්ටෝස්

ද්‍රව අංශුමය අපද්‍රව්‍ය

ජල බිඳිති

ද්‍රව කාබනික අංශු

රසදිය බිඳිති

රූපයක් එක් කළ යුතුය

15.22 රූපය — ඇස්බැස්ටෝස් අංශු.

සල්ෆර් ඩයොක්සයිඩ් (SO2)

කටුක ගන්ධයකින් යුක්ත සල්ෆර් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට එකතු වීම අම්ල වැසි නැමැති පාරිසරික අර්බුදය ඇති කිරීමට හේතුකාරක වේ. තව ද එමගින් ශ්වසන ආබාධ ඇති කෙරේ. ගල් අඟුරු ඉන්ධනයක් ලෙස බහුල ව භාවිත කිරීම, පෙට්‍රෝලියම් ඉන්ධන දහනය, වල්කනයිස් කරන ලද රබර් නිෂ්පාදන දහනය, සමහර ඓන්ද්‍රීය ද්‍රව්‍ය මත බැක්ටීරියා ක්‍රියා කිරීම, ගිනිකඳු පිපිරීම් මගින් එය පරිසරයට නිදහස් වේ.

නයිට්‍රජන්වල ඔක්සයිඩ (NOx)

නයිට්‍රජන්වල ඔක්සයිඩ (NO, NO2) වායුගෝලයට එකතු වීම නිසා වායුගෝලයේ සංයුතියට බලපෑමක් ඇති වේ. එමෙන්ම අම්ල වැසි ඇති කිරීමට හා ශ්වසන රෝග ඇති කිරීමට හේතු වේ. විදුලි කෙටීමේ දී වායුගෝලීය නයිට්‍රජන්, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ද ඇතැම් වාහනවල අභ්‍යන්තර දහන එන්ජිම තුළ නයිට්‍රජන්, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ද මෙම ඔක්සයිඩ සෑදේ.

කුඩා අංශු අනතුරුදායක වන්නේ ඇයි

විශාල දූවිලි කැට නාසයේ රෝම හා ශ්ලේෂ්මලයෙන් හසු වේ. ඉතා සියුම් අංශු ඒවා පසු කර පෙනහලුවල ගැඹුරට ළඟා වන අතර එහි දී ශ්වසන මාර්ග කුපිත කරයි; ඇස්බැස්ටෝස් කෙඳි හා බැර ලෝහ දූවිලි නම් වසර ගණනාවක් රැඳී රෝග ඇති කළ හැකි ය. SO2 හා NOx ශ්වසන මාර්ගවල තෙතමනයේ දිය වී අම්ල සාදයි; දුම් සහිත, වාහන බහුල වාතය ඇදුම උග්‍ර කරන්නේ එබැවිනි.

අංශු හා ආම්ලික වායු

අංශුමය අපද්‍රව්‍ය පෙනහලුවලට හානි කරයි; SO2 (ගල් අඟුරු, පෙට්‍රෝලියම්, ගිනිකඳු) හා NOx (අකුණු, එන්ජින්) අම්ල වැසි හා ශ්වසන ගැටලු ඇති කරයි.