Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2.2. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත 2 වන පිටුව (5)

ගැමා කිරණ හා X - කිරණ

වැඩි ම සංඛ්‍යාතය ඇති වර්ග දෙක වැඩි ම ශක්තිය රැගෙන යයි. ඒවා ප්‍රයෝජනවත් — මෙන් ම අනතුරුදායක — වන්නේ එබැවිනි.

ගැමා කිරණ

ගැමා කිරණ විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් කරන තරංග වර්ගයකි. ගැමා කිරණවල සංඛ්‍යාතය ඉතා අධික වන අතර ඒවායේ අඩංගු ශක්ති ප්‍රමාණය ද ඉතා අධික ය. ඝන වානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදිය පවා විනිවිද යාමේ හැකියාවක් ගැමා කිරණවලට ඇත.

පිළිකා ප්‍රතිකාර

ගැමා කිරණ මගින් සජීවී සෛල විනාශ කෙරෙන බැවින් පිළිකා සෛල විනාශ කිරීමට මෙම කිරණ යොදා ගැනේ.

ජීවාණුහරණය

ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ආදිය ජීවාණුහරණය කිරීමට ද ගැමා කිරණ භාවිත කෙරේ.

රූපයක් එක් කළ යුතුය

4.14 රූපය — ගැමා කිරණ භාවිත වන රෝහල් යන්ත්‍රයක්; රෝගියෙක් එහි ඇඳ මත සිටී.

X - කිරණ

X - කිරණ බහුලව ම යොදා ගන්නේ ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීම සඳහා ය. ශරීරයේ ඇති මෘදු පටක හරහා X - කිරණ පහසුවෙන් ගමන් කරන නමුත් අස්ථි හරහා ගමන් කිරීමේ දී X - කිරණවල තීව්‍රතාව බොහෝ දුරට අඩු වේ.

රූපයක් එක් කළ යුතුය

4.15 රූපය — X - කිරණ ඡායාරූපයක් ගැනීමට X - කිරණ යන්ත්‍රයක් ඉදිරියේ සිටින රෝගියෙක්.

ගුවන් මගින්ගේ ගමන් මලු සහ නැව් මගින් භාණ්ඩ රැගෙන එන බහාලුම් (container) විවෘත නොකර පරීක්ෂා කිරීම සඳහා ද X - කිරණ භාවිත කෙරේ.

අධික නිරාවරණය

අධික වශයෙන් X - කිරණවලට නිරාවරණය වීම පිළිකා ඇති වීමට හේතු විය හැකි ය.

X - කිරණ නිපදවන ආකාරය

X - කිරණ නිෂ්පාදනය වන්නේ අධිවේගයෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන ලෝහමය ඉලක්කයක් මත ගැටෙන්නට සැලැස්වීමෙනි. එවිට ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තියෙන් කොටසක් X - කිරණ බවට පරිවර්තනය වේ.