ආමාශයේ දී සිදුවන ආහාර ජීරණය
ආමාශය තරමක් පළල් මල්ලක් වැනි අවයවයකි. ආමාශ බිත්තියේ ඇති පේශි ක්‍රියාත්මක වීමෙන් ඇති වන ක්‍රමාකුංචන තරංග නිසා ආහාර යාන්ත්‍රික ජීරණයට ලක් වී එනම් කුඩා කැබලිවලට කැඩී හොඳින් මිශ්‍ර වී තලපයක් බවට පත්වෙයි. මෙය ආමලසය නම් වේ.
ආමාශයික යුෂය
ආමාශය තුළට වැගිරෙන ස්‍රාව සියල්ල ආමාශයික යුෂය නමින් හැඳින්වේ. ආමාශයික යුෂයේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා පෙප්සින් අඩංගු වේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් පෙප්සින් සක්‍රිය තත්ත්වයට පත් කරයි. එම පෙප්සින් මගින් ප්‍රෝටීන් ජීරණය ආරම්භ වී අර්ධ ජීර්ණ ඵල වන පොලිපෙප්ටයිඩ සෑදේ.
- ළදරුවන්ගේ ආමාශයික යුෂයේ රෙනින් නැමැති එන්සයිමය අඩංගු වේ. රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරයි.
- ආමාශය තුළ පැය තුනක් පමණ ආහාර රඳවා ගනී. මෙහි දී ජීරණ ඵල අවශෝෂණයක් සිදු නොවන නමුත් ජලය, ග්ලූකෝස් හා සමහර ඖෂධ වර්ග අවශෝෂණය කරයි.
- අර්ධ වශයෙන් ජීරණය වූ ප්‍රෝටීන්, ජීරණය වූ හා නො වූ කාබෝහයිඩ්‍රේට, ජීරණය නො වූ ලිපිඩ, ජලය, ලවණ හා විටමින් අඩංගු ආමලසය, ක්ෂුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටස වන ග්‍රහණියට ඇතුළු වෙයි.
කුසගින්න දැනෙන්නේ ඇයි
ආමාශය හිස් වූ පසුව ද එහි සංකෝචනය වීම් නොකඩවා සිදුවේ. හිස්ව තිබෙන කාලසීමාව වැඩි වන විට සංකෝචනය වීමේ වේගය ද වැඩිවේ. සමහර විට එයින් වේදනාවක් ද දැනේ. එමගින් අපට කුසගින්න දැනේ. කුසගින්න යනු ආහාර අවශ්‍ය බව හඟවන සංඥවකි.