Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.4. තාපජ ප්‍රසාරණය 3 වන පිටුව (5)

ඝන ප්‍රසාරණයේ බලපෑම් සහ භාවිත

ඝන ප්‍රසාරණය සැලකිල්ලට ගත යුතු අතර එය ප්‍රයෝජනයට ද ගත හැකි ය.

කරත්ත රෝදවල යකඩ පට්ටම්

ලී රෝදයේ පිටත විෂ්කම්භයට වඩා මඳක් කුඩා ඇතුළත විෂ්කම්භයක් සහිතව යකඩ වළල්ල සාදා, ලී රෝදය ඇතුළු කළ හැකි ප්‍රමාණයට වළල්ල ප්‍රසාරණය වන තෙක් එය රත් කරනු ලැබේ. ඉන්පසු ලී රෝදය වළල්ල තුළට ඇතුලු කර, වළල්ල සිසිල් වීමට සලස්වනු ලැබේ. එවිට යකඩ වළල්ල සංකෝචනය වී රෝදයට ඉතා හොඳින් සවි වෙයි.

රේල් පීලි අතර හිඩැස්

රත්වීමේ දී සිදු වන ප්‍රසාරණය නිසා රේල් පීලි දික් වී, එකිනෙක ගැටී, දුම්රිය මගෙහි සිදුවිය හැකි ඇද වීම වැළැක්වීමට කුඩා හිඩැසක් තබා ඇත.

බුරුල් කම්බි

දුරකථන කම්බි සහ විදුලි කම්බි, කණු අතර යන්තමින් බුරුල්ව සවිකරන්නේ පරිසර උෂ්ණත්වය පහළ යන අවස්ථාවල කම්බිවල දිග, කණු අතර දුරට වඩා අඩු වන තරමට සංකෝචනය වී කම්බි කැඩී යාම වැළැක්වීම සඳහා ය.

සිරවූ බෝතල් මූඩිය

ලෝහ මූඩියක් මඳක් රත් කිරීමෙන් එය ප්‍රසාරණය කර පහසුවෙන් ගැලවිය හැකි ය. මෙයට හේතුව එකම උෂ්ණත්ව වෙනසක දී ලෝහ ප්‍රසාරණය වන ප්‍රමාණය වීදුරු ප්‍රසාරණය වන ප්‍රමාණයට වඩා වැඩි වීම ය.

රූපයක් එක් කළ යුතුය

9.18 හා 9.19 රූප — රේල් පීලි 2ක් අතර හිඩැසක් සහ කණු අතර බුරුල්ව සවි කළ කම්බි.

9.1 පැවරුම

ඝන ප්‍රසාරණය ප්‍රයෝජනවත් වන වෙනත් අවස්ථා සොයා බලා ඒවා පිළිබඳ තොරතුරු සටහන් කරන්න.