Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.4. තාපජ ප්‍රසාරණය 5 වන පිටුව (5)

ද්‍රව හා වායු ප්‍රසාරණය

ද්‍රව හා වායු ද රත් කළ විට ප්‍රසාරණය වේ.

9.4 ක්‍රියාකාරකම — ද්‍රව ප්‍රසාරණය

වීදුරු පරීක්ෂා නළයකට වර්ණවත් කළ ජලය පුරවා වීදුරු නළයක් සහිත රබර් ඇබයක් එයට සවි කරන්න. වීදුරු නළයේ ජල මට්ටම (A) සලකුණු කරන්න. වීදුරු නළය උණුසුම් ජලය සහිත බඳුනක ගිල්වා ටික වේලාවක් තබා පරීක්ෂා කරන්න.

රූපයක් එක් කළ යුතුය

9.22 රූපය — (a) A මට්ටමේ වර්ණ කළ ජලය; (b) උණුසුම් ජලයේ දී මට්ටම මුලින් B දක්වා පහළ බැස, පසුව C දක්වා ඉහළ යයි.

නිරීක්ෂණය

මෙහි දී ජලයේ උෂ්ණත්වය ඉහළ යන විට පළමුව පරීක්ෂා නළය ප්‍රසාරණය වේ. එවිට ද්‍රව මට්ටම මඳක් පහළ බසියි. නමුත් පරීක්ෂා නළය තුළ ඇති වර්ණ කළ ජලයේ උෂ්ණත්වය ද ක්‍රමයෙන් වැඩි වන විට එම ජලය ප්‍රසාරණය වීමට පටන් ගනියි. ජලය ප්‍රසාරණය වන ප්‍රමාණය පරීක්ෂා නළයේ වැඩි වූ පරිමාවට වඩා වැඩි වූ විට නැවත ජල මට්ටම ඉහළ නගියි. රසදිය සහ මද්‍යසාර උෂ්ණත්වමානවල, ද්‍රවයේ සිදු වන පරිමාව වැඩි වීම උෂ්ණත්වය මැන ගැනීමට යොදාගෙන ඇත.

9.5 ක්‍රියාකාරකම — වායු ප්‍රසාරණය

මූඩියක් රහිත හිස් බෝතලයක් අයිස් සහ ජලය පිරවූ බඳුනක මඳ වේලාවක් සිරස් ව තබන්න. ඉන්පසු එහි කටට බැලූනයක් සම්බන්ධ කරන්න. ඉන්පසු එම බෝතලය ඉවතට ගෙන වෙනත් හිස් බඳුනක තබා එම බඳුනට උණුසුම් ජලය පුරවන්න.

රූපයක් එක් කළ යුතුය

9.23 රූපය — කටට බැලූනයක් සවි කළ බෝතලයක්: (a) අයිස් තුළ, බැලූනය හැකිළී; (b) උණුසුම් ජලය තුළ, බැලූනය පිම්බී.

නිරීක්ෂණය

අයිස් සහිත භාජනයේ තිබිය දී බෝතලය තුළ වූ වාතයේ උෂ්ණත්වය 0 °C ට ආසන්න වේ. උණුසුම් ජලය සහිත භාජනයේ තැබූ විට මෙම සිසිල් වාතයේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයටත් වඩා ඉහළ නැගීම නිසා ප්‍රසාරණය වේ. බෝතලයට සම්බන්ධ කර ඇති බැලූනය නිසා එම වාතයට පිටතට යා නොහැකි ය. ඒ වෙනුවට බැලූනය පිම්බේ. නැවත බෝතලය භාජනයෙන් පිටතට ගත් විට බෝතලය තුළ වූ වාතය කාමර උෂ්ණත්වයට පැමිණීම නිසා සංකෝචනය වේ.