Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2.2. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත 5 වන පිටුව (5)

ක්ෂුද්‍ර තරංග හා ගුවන් විදුලි තරංග

වර්ණාවලියේ අඩු සංඛ්‍යාත කෙළවරේ ක්ෂුද්‍ර තරංග ද, සියල්ලට ම පහළින් ගුවන් විදුලි තරංග ද පිහිටයි.

ක්ෂුද්‍ර තරංග

අධෝරක්ත කිරණවලට අඩු සංඛ්‍යාවලින් යුතු විද්‍යුත් චුම්බක තරංග පරාසය ක්ෂුද්‍ර තරංග ලෙස හැඳින්වේ. රේඩාර් පද්ධති, ජංගම දුරකථන, සහ ක්ෂුද්‍ර තරංග උදුන්වල (micro wave ovens) ක්ෂුද්‍ර තරංග භාවිත වේ.

රූපයක් එක් කළ යුතුය

4.19 රූපය — ක්ෂුද්‍ර තරංග උදුනක ඇතුළත: ක්ෂුද්‍ර තරංග නිපදවන මැග්නට්‍රෝනය, ආහාර පිසින කුටීරය සහ ආහාර.

ක්ෂුද්‍ර තරංග උදුනක් ආහාර පිසින ආකාරය

ක්ෂුද්‍ර තරංග අවශෝෂණය කරගෙන එම ශක්තිය කම්පන චාලක ශක්තිය (තාපය) බවට හැරවීමේ හැකියාවක් ජල සහ මේද අණුවලට ඇත. ආහාර පිසීම සඳහා ගන්නා ක්ෂුද්‍ර තරංග උදුන්වල මූලධර්මය මෙය යි. ක්ෂුද්‍ර තරංග උදුන් සහ රේඩාර් පද්ධතිවල ක්ෂුද්‍ර තරංග නිපදවා ගන්නේ මැග්නට්‍රෝනය නම් උපකරණය භාවිතයෙනි.

ක්ෂුද්‍ර තරංග ශරීරයට හානි කළ හැකි ය

සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර තරංග උදුන් සාදා ඇත්තේ ඒවායේ ක්ෂුද්‍ර තරංග පිටතට නොඑන පරිදි ය. එහෙත් භාවිතයේ දී අනවශ්‍ය ලෙස ඒවාට ආසන්නව සිටීමෙන් වැළකීම සුදුසු ය. අධික ලෙස ජංගම දුරකථන භාවිත කිරීමෙන් ද මොළයට හානි විය හැකි බවට මත පවතියි.

ගුවන් විදුලි තරංග

විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දිගු ම තරංග ආයාමය හා අඩු ම සංඛ්‍යාතය සහිත මෙම තරංග දුරස්ථ සන්නිවේදනය සඳහා භාවිත වේ. ගුවන් විදුලි තරංග උපදවා ගන්නේ ගුවන් විදුලි තරංග දෝලක මගිනි. ඇන්ටෙනා මගින් ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය සහ ආදානය කරනු ලැබේ.

අවශ්‍ය තොරතුරු අනුව ගුවන් විදුලි තරංගයේ විස්තාරය හෝ සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් ගුවන් විදුලි තරංග මගින් තොරතුරු සම්ප්‍රේෂණය කෙරේ.

රූපයක් එක් කළ යුතුය

4.20 රූපය — ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය කරන කුළුණක් සහ ඒවා ආදානය කරන නිවාසවල වහල මත ඇති ඇන්ටෙනා.