ආරක්ෂක පූර්වෝපාය
මෙයට අමතරව පහත සඳහන් පූර්වෝපායන් ආරක්ෂාව සඳහා අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.
කිසි විටෙක
- විලායක යෙදීමේ දී පරිපථයට නියමිත වූ 6 A හෝ 13 A විලායක කම්බි හැර වෙනත් කම්බි නොයෙදිය යුතු ය.
- බහු පේනුවක් (multi plug) මගින් එකම කෙවෙනියට එයට දැරිය හැකි උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගන්නා සේ උපකරණ කිහිපයක් සම්බන්ධ නොකළ යුතු ය.
- කෙවෙනිවලට සුදුසු පේනු හැර රැහැන් ඇතුළු නොකළ යුතු ය.
- අධිධාරා පරිපථ බිඳිනය හෝ ප්‍රධාන ස්විච්චය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් තොරව නාන කාමර වැනි තෙත සහිත ස්ථානවල දැවී ගිය විදුලි බල්බ මාරු කිරීම ආදි කටයුතු නොකළ යුතු ය.
- ශරීරය තෙමී ඇති විට විදුලි උපකරණ පරිහරණය නොකළ යුතු ය. තෙත් වූ අත්වලින් විදුලි ස්විච්ච දැමීම නොකළ යුතු ය.
- විදුලි බලය ඇණ හිටි විට නිවසේ විදුලි උපකරණවල ස්විච්ච සංවෘත (ON) නොකළ යුතු ය.
සැම විට ම
- රෙදි මැදීමේ දී විදුලි ඉස්තිරික්කය භාවිත කරන විට රබර් පලසක් මත සිටීම හෝ රබර් පාවහන් පැළඳීම කළ යුතු ය. ශීතකරණය ඉදිරියේ ද රබර් පලසක් යෙදීම ආරක්ෂා සහිත ය.
- විදුලි උපකරණ භාවිත නොකරන විට කෙවෙනියෙන් පේනුව ගලවා තැබිය යුතු ය.
- තදින් අකුණු ඇති අවස්ථාවල හැකිනම් ගුවන් විදුලි ආදායක, TV ආදිය අදාළ පරිපථයෙන් විසන්ධි කොට තැබිය යුතු ය. එවැනි අවස්ථාවල අත්‍යවශ්‍ය නොවන විදුලිය භාවිත කිරීම්වලින් හැකිතරම් වැළකිය යුතු ය (RCCB මගින් අකුණුවලින් ආරක්ෂාවක් නොලැබේ).
- ගිනි ගැනීමක් සිදුවන අවස්ථාවක දී වහාම අධිධාරා පරිපථ බිඳිනය මගින් නිවසේ විදුලිය විසන්ධි කළ යුතු ය.
- පුහුණු කාර්මිකයකු ලවා අවශ්‍ය නඩත්තු කටයුතු හෝ විදුලි දිගු ඇති කර ගැනීම කළ යුතු ය.
- දින කිහිපයකට වරක්වත් ශේෂධාරා පරිපථ බිඳිනයේ (RCCB) ඇති පරීක්ෂක බොත්තම ඔබා එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කළ යුතු ය.